ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම තෙල් පිරිපහදුවක් වන ‘කෝරියෝ’ (Corio) පිරිපහදුවේ ඇති වූ දැවැන්ත ගින්නක් හේතුවෙන් නිෂ්පාදන ධාරිතාව පහත වැටී තිබුණ ද, රට තුළ ඉන්ධන සලාක ක්‍රමයක් (Fuel rationing) හඳුන්වා දීමට පියවර නොගන්නා බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මහතා අද (17) ප්‍රකාශ කළේය. ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය වශයෙන් ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක, වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 50% ක් සපුරාලන මෙම පිරිපහදුවේ ගින්නක් හට ගැනීම ඕස්ට්‍රේලියාවේ බලශක්ති ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ ඇති වූ මෙම ගින්න පැය 13 ක් පුරා පැවති අතර, ඉන් පිරිපහදුවට දැඩි හානි සිදු විය. අද පෙරවරුවේ එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන නිෂ්පාදනයෙන් 80% ක් ද, පෙට්‍රල් නිෂ්පාදනයෙන් 60% ක් ද මේ වන විට අඛණ්ඩව සිදුවන බවයි. බෲනායි සහ දකුණු කොරියාවෙන් අමතර ඉන්ධන ලීටර් මිලියන 100 ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බැවින් කලබල විය යුතු නැති බවත්, දැනට පවතින ඉන්ධන සුරක්ෂිතතා සැලැස්මේ තෙවැනි අදියර (සලාක ක්‍රමය) දක්වා යාමට අවශ්‍යතාවක් නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.














