ලෝකයේ අතිශය වැදගත් සහ සංවේදී මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අමෙරිකාව සතු කර ගැනීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය ජාලයක් වන ෆොක්ස් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් වැඩසටහන සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම වැදගත් ජල මාර්ගය ආරක්ෂා කිරීම සහ පාලනය කිරීම වෙනුවෙන්, ඉන් ප්‍රතිලාභ ලබන ධනවත් රටවල් විසින් අමෙරිකාවට මුදල් ගෙවිය යුතු බවයි. අමෙරිකාව එහි භාරකරු හෙවත් සමුද්‍ර සන්ධියේ ආරක්ෂක දේවදූතයා බවට පත්වීමට සූදානම් වුවද, එම සේවාව නිකන්ම සිදු කරනු ඇතැයි කිසිවෙකු බලාපොරොත්තු නොවිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.
ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වන විට අමෙරිකා සහ ඉරාන ගැටුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. අනුමැතියකින් තොරව නෞකා ගමනාගමනය සිදු වූ බව පවසමින් ඉරානය පසුගිය සෙනසුරාදා මෙම මුහුදු මාර්ගය වසා දැමූ අතර, ඒ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ගෝලීය උද්ධමනය පිළිබඳ බියක් ද නිර්මාණය වී තිබේ. ඉරානය දිගින් දිගටම ගිවිසුම් කඩ කරන බවට චෝදනා කළ ට්‍රම්ප්, මෙවර ඔවුන්ට ඉතා දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන බව ද පැවසීය. පසුගිය සති අන්තයේ සිට අමෙරිකානු සහ ඉරාන බලකායන් අතර දරුණු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු වී ඇති අතර, ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය ද තහවුරු කර තිබේ.
















