ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැති සටන් විරාම ගිවිසුම දැන් අවසන් වී ඇති බව පවසමින්, අද (08) රාත්‍රියේදී ද ඉරානයට “දරුණු ලෙස” ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සෘජු තර්ජනයක් කර තිබේ. තුර්කියේ පැවැත්වෙන නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුව අතරතුර මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් මහතා කියා සිටියේ, මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය උණුසුම හමුවේ ඉරානයට එරෙහිව තවදුරටත් අලුත් ප්‍රහාර දියත් කිරීමට ඇමෙරිකාව සූදානම් බවයි. “මම පොඩි අනතුරු ඇඟවීමක් කරන්නම්, අපි අද රෑට ඔවුන්ට ඉතාම දරුණු විදිහට පහර දෙනවා,” යැයි ඔහු පැවසීය. එහිදී ඉරාන නායකත්වය දැඩි ලෙස විවේචනය කළ ට්‍රම්ප් මහතා, දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව තිබුණද එය කාලය කා දැමීමක් පමණක් වනු ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















