ගෝලීය සැපයුම් බාධා සහ ඉන්ධන මිල ඉහළ යාම් හමුවේ මෑත වසරවලදී දැඩි ලෙස අඩුවී ඇති ඇමරිකානු උපායමාර්ගික පෙට්‍රෝලියම් සංචිතය (Strategic Petroleum Reserve) නැවත පිරවීම සඳහා වෙනිසියුලාව සමඟ ඇති කරගත් නව ගිවිසුමෙන් ලැබෙන තෙල් යොදා ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා ප්‍රකාශ කර තිබේ.
මෙම සංචිතය නැවත පිරවීමේ ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ වන බව ඔහු සමාජ මාධ්‍ය පෝස්ටුවක් හරහා සඳහන් කළ අතර, එය ඇමරිකානු ජනතාවට ලැබෙන “තෑග්ගක්” ලෙසද හැඳින්වීය. කෙසේ වෙතත්, වෙනිසියුලාවේ කඩා වැටී ඇති තෙල් කර්මාන්තය නඟා සිටුවීම සඳහා සැලකිය යුතු ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු අවශ්‍ය වන බැවින්, මෙම ගිවිසුම මඟින් කෙතරම් ඉක්මනින් තෙල් ලබා ගැනීමට හැකි වේද යන්න තවමත් පැහැදිලි නැත. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සහ ඉරානය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් පසුගිය කාලය තුළ ගත් ක්‍රියාමාර්ග නිසා, අගෝස්තු 21 වන විට මෙම සංචිතය තුළ ඉතිරිව තිබී ඇත්තේ වසර 44 කට පසු අවම මට්ටමක පවතින බැරල් මිලියන 290 ක පමණ ප්‍රමාණයකි.














