හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්‍ෂක තත්ත්වය උත්සන්න කරමින් එක්සත් ජනපදය විසින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ඉලක්ක කර ප්‍රහාර මාලාවක් දියත් කර ඇති පසුබිමක, ඊට වඩා දැවැන්ත ප්‍රහාරයක් ඉදිරියේදී එල්ල වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධියේ වාණිජ නැව් ගමනාගමනයට සහ කලාපයේ යෙදවී සිටින ඇමරිකානු සේවා සාමාජිකයින්ට එරෙහිව ඉරානය එල්ල කිරීමට උත්සාහ කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ලාරක් දූපතේ පිහිටි ඉරාන රොකට් විදින ඇතුළු ඉලක්ක රැසක් අමෙරිකානු ප්‍රහාරයට ලක් විය. මීට ප්‍රතිචාර ලෙස ඉරානය ද ජෝර්දානයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත සහ අවට මුහුදු සීමාවන්ට ප්‍රක්ෂේපණ සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත්තද, එම ප්‍රචණ්ඩ ක්‍රියා බහුතරයක් සාර්ථකව වළක්වා ගැනීමට මිත්‍ර පාර්ශ්වීය ආරක්ෂක අංශ සමත්ව ඇත.
මෙම හමුදාමය ගැටුම් තීව්‍ර වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ භූ-දේශපාලනික ස්ථාවරත්වය සහ ගෝලීය බලශක්ති සැපයුම් ජාලය දැඩි අවදානමකට ලක්ව තිබේ. ඉදිරි මාසවලදී පැවැත්වීමට නියමිත මැදකාලීන මැතිවරණ සහ අමෙරිකානු දියුණු ආයුධ තොග අඩුවීම වැනි අභ්‍යන්තර දේශපාලන සාධක මධ්‍යයේ වුවද, ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී ඇති ආර්ථික ‘ඩී-දින’ සැලසුම සහ ඉදිරියේදී සිදුවිය හැකි යැයි පැවසෙන මහා පරිමාණ ප්‍රහාර මඟින් කලාපීය යුධ උණුසුම තවදුරටත් ඉහළ නංවනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අනතුරු අඟවති.














