ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ධවල මන්දිර භූමියේ ඉදිකිරීමට යෝජිත ඩොලර් මිලියන 400ක දැවැන්ත බෝල්රූම් (ballroom) ශාලාව සහ ඒ හා සම්බන්ධ රහසිගත භූගත සංකීර්ණය පිළිබඳව මේ වන විට දැඩි ආන්දෝලනයක් මතුව තිබේ. කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම ව්‍යාපෘතිය සඳහා මහජන මුදල් භාවිත කිරීමට අධිකරණයෙන් බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. ධවල මන්දිරයේ නැගෙනහිර කොටස (East Wing) කඩා ඉවත් කරමින් ආරම්භ කරන ලද මෙම ඉදිකිරීම නීතිවිරෝධී බව පවසමින් ජාතික ඓතිහාසික සංරක්ෂණ භාරය විසින් නඩුවක් ගොනු කරන ලද අතර කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන තුරු බෝල්රූම් ශාලාවේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවත්වන ලෙස මාර්තු 31 වන දින විනිසුරුවරයෙකු නියෝග කරනු ලැබීය. අප්‍රේල් 16 වන දින ලබා දුන් තවත් නියෝගයකින් කොන්ග්‍රස් අනුමැතියකින් තොරව සිදුකෙරෙන බිමට ඉහළින් වන සියලුම ඉදිකිරීම් තහනම් කළද හමුදා සංකීර්ණය යටතේ සිදුකෙරෙන භූගත වැඩකටයුතු සඳහා අවසර හිමිවිය. මෙම ව්‍යාපෘතිය ජාතික ආරක්ෂාව වෙනුවෙන් අතිශයින් වැදගත් බව පෙන්වා දෙන ට්‍රම්ප් පරිපාලනය දෙවන ලෝක යුද්ධ සමයේ ඉදිකරන ලද ජනාධිපති හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය (PEOC) නැවත ගොඩනැගීම මෙහි අරමුණ බව සඳහන් කරයි. ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉහළින් ඉදිකරන බෝල්රූම් ශාලාව භූගතව ඉදිකරන දේ සඳහා වන ආවරණයක් (shed) පමණක් බවත් මෙම භූගත ඉදිකිරීම් අතරට බෝම්බ නවාතැන්, රෝහලක් සහ ප්‍රධාන වෛද්‍ය පහසුකම් ඇතුළත් වන බවත්ය.















