ඉන්දියානු ජාතිකයකුට ඇප අත්සන් තැබීම සඳහා මුදල් ලබාගනිමින් අධිකරණය හමුවේ කූට ලේඛන ඉදිරිපත් කළ කොළඹ සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකුට වසර දෙක බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි හුසේන් මෝහොමඩ් සහ හසිස් මොහොමඩ් යන අය මෙලෙස දඬුවම් නියම වූ විත්තිකරුවෝ වෙති. නාඳුනන තැනැත්තකු වෙනුවෙන් මුදලට ඇප වීම, ව්‍යාජ තොරතුරු ඇතුළත් ලේඛන ඉදිරිපත් කිරීම සහ එම ක්‍රියාවන්ට අනුබල දීම යන චෝදනා සනාථ වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මොවුන් වරදකරුවන් බවට තීරණය කළේය.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගේ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනු කර තිබිණි. විත්තිකරුවන් ව්‍යාජ දිවුරුම් පෙත්සමක් සකස් කරමින් අධිකරණය නොමඟ යවා ඇප අත්සන් කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම විමර්ශන ආරම්භ කර ඇත. නඩු විභාගයේදී තමන්ට කුඩා දරුවකු සිටින බව පවසමින් සහනයක් ලබාදෙන ලෙස පළමු විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
















