ඊශ්රායලයේ ටෙල් අවීව් බලා ඩුබායි සිට ගමන් කළ Flydubai FZ1073 ගුවන් යානයේ සිදුවූ cockpit සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්යයේ නීතිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ගුවන් යානය සැප්තැම්බර් 30 වැනිදා ගමන් කරමින් සිටියදී සිදුවූ සිද්ධියෙන් පසු එය සෞදි අරාබියේ Tabuk ගුවන් තොටුපළ වෙත හරවා ආරක්ෂිතව ගොඩබස්වා තිබුණි.
UAE නීතිපති Dr. Hamad Saif Al Shamsi විසින් පත් කළ විමර්ශන කණ්ඩායම සිද්ධියේ තත්ත්වයන් සහ අරමුණ පිළිබඳ සාක්ෂි එකතු කරමින් සිටින බව නිල වශයෙන් සඳහන් කර තිබේ. එම විමර්ශනයේදී සිද්ධිය කිසියම් ත්රස්ත ක්රියාකාරකමකට හෝ අරමුණකට සම්බන්ධද, එසේත් නැතිනම් පූර්ව සැලසුමක් හෝ මෙහෙයවීමක් තිබුණේද යන්නද පරීක්ෂා කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මේ වනවිට එය ත්රස්ත ක්රියාවක් බවට තහවුරු කළ නිගමනයක් ඉදිරිපත් කර නොමැති අතර, UAE බලධාරීන් ජනතාවගෙන් තහවුරු නොකළ තොරතුරු හෝ අනුමාන ප්රචාරය නොකරන ලෙස ඉල්ලා තිබේ. ගුවන් යානය UAE හි ලියාපදිංචි වී ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් UAE අධිකරණ බලය ක්රියාත්මක වන බවද එරට බලධාරීන් සඳහන් කරයි.
















