වසර 65ක ඉතිහාසයක් ඇති ලොව බලවත්ම තෙල් අපනයනය කරන රටවල සංවිධානය වන OPEC වෙතින් ඉවත් වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ගත් හදිසි තීරණය ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ දැඩි කැළඹීමක් ඇති කර තිබේ. ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වී ඇති මෙවන් තීරණාත්මක මොහොතක ගත් මෙම පියවර, OPEC සංවිධානයේ බලය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වනු ඇති බව විචාරකයෝ පවසති.
ලොව සිව්වන විශාලතම තෙල් නිෂ්පාදකයා වන එමීර් රාජ්‍යය මෙලෙස ඉවත් වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, OPEC සංවිධානය විසින් පනවා ඇති නිෂ්පාදන සීමාවන්ගෙන් මිදී සිය තෙල් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමයි. සවුදි අරාබිය සමඟ පවතින දේශපාලන සහ ආර්ථික මතභේද ද මෙම තීරණයට බලපා ඇති බව වාර්තා වේ. යුද්ධය අවසන් වූ පසු තෙල් වෙළඳපොළේ තම ආධිපත්‍යය රැක ගැනීමට නිෂ්පාදකයන් අතර දරුණු “මිල යුද්ධයක්” (Price War) ඇති වීමේ අවදානමක් පවතින අතර, එය තෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටීමට ද මඟ පාදනු ඇත.













