ස්විට්සර්ලන්තයේ UBS බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී Sergio Ermotti, බැංකුව සඳහා දැඩි ප්‍රාග්ධන අවශ්‍යතා පැනවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 2023 වසරේ Credit Suisse බැංකුව කඩා වැටීමෙන් පසු UBS ඇතුළු පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු සඳහා නව නියාමන නීති සකස් කරමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ තීරණයක් අපේක්ෂා කෙරෙනවා.
ස්විට්සර්ලන්ත රජයේ යෝජනාව යටතේ UBS හි විදේශ අනුබද්ධ ආයතන සඳහා 100% Common Equity Tier 1 හෙවත් CET1 ප්‍රාග්ධන ආවරණයක් අවශ්‍ය වනු ඇති අතර, වත්මන් තත්ත්වයට සාපේක්ෂව එය සැලකිය යුතු අමතර ප්‍රාග්ධන අවශ්‍යතාවක් ඇති කළ හැකියි. Ermotti පවසන්නේ එවැනි අමතර වියදම් කොටස් හිමියන්ට පමණක් නොව ගනුදෙනුකරුවන්ට සහ සේවකයන්ටද බලපෑම් කළ හැකි බවයි.
පාර්ලිමේන්තු කමිටුවක් මීට පෙර සම්මුති යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී අවශ්‍යතාවයෙන් කොටසක් අඩු වියදම් Additional Tier 1 හෙවත් AT1 ප්‍රාග්ධනය මගින් සපුරා ගැනීමට UBS වෙත අවස්ථාව ලැබෙනු ඇත. ස්විට්සර්ලන්ත බලධාරීන් පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ Credit Suisse අර්බුදයෙන් පසු මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම බවයි.
















