පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කරන තුසිල් වීරසේකර යන අයට එරෙහිව එල්ල වී තිබෙන විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව ඉදිරි පියවර සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වැඩබලන සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.
පසුගිය අගෝස්තු 19 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය සාධනය සහ මූල්‍ය විනය සම්බන්ධයෙන් පැවැති කෝප් කමිටු සමාලෝචන රැස්වීමේදී මේ බව හෙළිදරව් වී තිබේ.
එහිදී හෙළිදරව් වී ඇති කරුණුවලට අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විගණක තනතුර සඳහා අදාළ පුද්ගලයා පත් කිරීම සඳහා වන නිර්දේශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලැබීමත් සමග ඔහුට එරෙහිව විෂමාචාර චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් වන පැමිණිලි යූජීසීය වෙත ලැබී තිබේ. එම චෝදනා සහගත තත්ත්වය හේතුවෙන් අදාළ පත් කිරීම සිදු කිරීමට නොහැකි වූ නිසා පත් කිරීම වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇත. මෙම චෝදනා සම්බන්ධයෙන් යූජීසීය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර විමර්ශනයක් ආරම්භ කර තිබී ඇති අතර, එකී ත්‍රිපුද්ගල කමිටු විමර්ශන වාර්තාව මේ වන විට ලැබී තිබෙන බව එහිදී ප්‍රකාශ විය.
කෙසේ වෙතත් අභ්‍යන්තර විගණක තනතුරෙහි පත් කිරීමේ බලධාරියා වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නොව අදාළ විශ්වවිද්‍යාලයේ පාලක සභාව වන බවට නීතිපතිවරයා විසින් නීතිමය පැහැදිලි කිරීමක් ලබා දී තිබේ. එම නිසා අදාළ විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එකී වාර්තාව පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත යැවීමට පියවර ගෙන ඇති බව වැඩබලන සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
දූෂණ වංචා චෝදනා රාශියක් තිබියදී, චෝදනාලත් බඳවා ගැනීමේ ක්‍රමවේදයකට අනුව තුසිල් වීරසේකර නැමැත්තා අදාළ තනතුරට පත් කර ගැනීමට උත්සාහ කරන උපකුලපති මධුජිත් ප්‍රමුඛ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලක සභාව වෙතම අදාළ විමර්ශනයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරීම ”හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසීමක්” වැනි ක්‍රියාවක් බවට සැක මතුවන බව විශ්වවිද්‍යාල ප්‍රජාව පවසති.
















