ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් 12 හැවිරිදි දැරියකව මුළා කොට දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ එක්සත් රාජධානියේ හිටපු ගුවන් නියමුවෙකුට වසර 9කුත් මාස 4ක සිරදඬුවමක් නියම වී තිබේ. 30 හැවිරිදි ක්වාමේ යෙබෝවා නමැති මෙම පුද්ගලයා රීඩින් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 2025 වසරේ අගභාගයේදී අන්තර්ජාලය ඔස්සේ ඔහු මෙම දැරියව මුල්වරට හඳුනාගෙන ඇති අතර, ඇය තමා 17 හැවිරිදි බව ඔහුට පවසා තිබුණි. කෙසේ වෙතත්, පසුව සිදුවූ සංවාද සහ ඇය පාසල් නිල ඇඳුමින් සැරසී එවූ ඡායාරූප හේතුවෙන් ඇය බාල වයස්කාර දැරියක් බව ඔහු දැන සිටි බව නඩු විභාගයේදී අනාවරණය විය.
මුළා කිරීමේ ක්‍රියාවලිය යටතේ යෙබෝවා දැරියව රවටා ඇය සමඟ ආදර සබඳතාවක් ගොඩනඟා ගෙන ඇති බව විශ්වාස කිරීමට ඇයව පොළඹවාගෙන තිබේ. ඔහු ඇය සමඟ නිරන්තරයෙන් දුරකථනයෙන් සම්බන්ධ වී ඇය තමාට වැදගත් බව පවසමින් ඇයව මානසිකව බැඳ තබාගෙන ඇත.අපයෝජනය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි මාසයේදී රීඩින් සිට මර්සිසයිඩ් දක්වා ගමන් කළ ඔහු, දැරියව හමුවී පාළු ස්ථානයකට රැගෙන ගොස් ඇයව තුන් වරක් දූෂණය කර තිබේ.අත්අඩංගුවට ගැනීම සිදුවූයේ දැරියගේ මිතුරියක විසින් ඇගේ මවට පැවසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කිරීමත් සමඟය. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ ද, පසුව එල්ල වූ සියලුම චෝදනාවලට තමා වරදකරු බව ලිවර්පූල් ඔටුන්න හිමි අධිකරණය හමුවේ පිළිගත්තේය.
මර්සි-චෙෂයර් රාජකීය අභිචෝදක සේවයේ ජ්‍යෙෂ්ඨ අභිචෝදක තෝමස් හැන්ලන් මහතා ප්‍රකාශ කළේ, යෙබෝවා දැරියගේ වයස සහ ඇය බාල වයස්කාර දැරියක් බව මනාව දැන සිටියදීත්, ඇයව තම ලිංගික තෘප්තිය වෙනුවෙන් සූරාකෑමට ලක් කළ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මර්සිසයිඩ් පොලිසිය සහ අභිචෝදක සේවය දැරිය සහ ඇගේ පවුලේ අය පෙන්වූ ධෛර්යය අගය කර තිබේ.අන්තර්ජාලය තුළ සැරිසරන මෙවැනි අභියෝග ඕනෑම පවුලකට, ඕනෑම දියණියකට මුහුණ දීමට සිදුවිය හැකි බරපතල තත්ත්වයන්ය. ඔබේ දියණිය අන්තර්ජාලය තුළ භාවිතා කරන ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසු වන්න. සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමේදී ඇති විය හැකි අවදානම් පිළිබඳව ඔබේ දරුවාව දැනුවත් කරන්න. දරුවාගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීම ඔබේ වගකීමක් බව සිහි තබා ගන්න.
















