වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සහමුලින්ම තහනම් කිරීමට නීති සම්පාදනය කරන නවතම රට බවට බ්‍රිතාන්‍යය පත්වීමට සූදානම් වන බව වාර්තා වේ. මේ සඳහා වන නව පනතක් ලබන දෙසැම්බර් මාසය වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව 2027 වසරේ සිට මෙම නීතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් (Sir Keir Starmer) ප්‍රකාශ කර තිබේ.
මෙම යෝජිත නව පනත මඟින් බාලවයස්කාර දරුවන්ට ටික්ටොක් (TikTok), යූටියුබ් (YouTube), ඉන්ස්ටග්‍රෑම් (Instagram), ෆේස්බුක් (Facebook) සහ එක්ස් (X) වැනි ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයන් මෙන්ම විවිධ අන්තර්ජාල ක්‍රීඩා (Online Gaming) වෙබ් අඩවි ද තහනම් කිරීමට නියමිතය. මීට අමතරව, ළමයින්ට හානිකර විය හැකි නාඳුනන පුද්ගලයන් සමඟ සම්බන්ධ වන සජීවී වීඩියෝ දර්ශන (Live Streaming) සඳහා ප්‍රවේශ වීම ද අවහිර කෙරේ. කෙසේ වුවත්, දෛනික කෙටි පණිවුඩ සහ වීඩියෝ හුවමාරු කරගන්නා වට්ස්ඇප් (WhatsApp) යෙදවුම මෙම තහනමට ඇතුළත් නොවන බව වාර්තා වේ.
මෙම නීතිමය පියවරයන්ට අමතරව, වයස අවුරුදු 18න් පහළ තරුණ තරුණියන් වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් ක්‍රියාත්මක වන ප්‍රේමණීය සංවාද (AI Romance Chatbots) සහ සබඳතා පැවැත්වීමේ යෙදවුම් තහනම් කිරීමට ද බ්‍රිතාන්‍ය රජයේ විශේෂ අවධානය යොමුව ඇත. අනෙකුත් රටවල් පනවා ඇති සීමාවන්ට වඩා පුළුල් සහ දැඩි නීති පද්ධතියක් මේ යටතේ බ්‍රිතාන්‍යය තුළ ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
















