වයස අවුරුදු 16ට අඩු දරුවන් වෙනුවෙන් අන්තර්ජාලය තුළ පවතින “හානිකර” සමාජ මාධ්‍ය වේදිකාවන් (Social Media Platforms) භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් (Keir Starmer) මහතා සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ‘ද ටයිම්ස්’ (The Times) පුවත්පත අද (08) වාර්තා කළේය. කෙසේ වුවද දරුවන්ට ආරක්ෂිත මට්ටමක පවතින ඇතැම් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව මෙහිදී අහිමි නොවන බව ද සඳහන් වේ.
සමාජ මාධ්‍යවල බලපෑම හේතුවෙන් සිය දරුවන් අහිමි වූ මව්පියන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසුව සහ පසුගිය දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාව විසින් වයස 16ට අඩු දරුවන් සඳහා පැනවූ සමාජ මාධ්‍ය තහනමේ සාර්ථකත්වය පිළිබඳ දත්ත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අගමැතිවරයා මෙම දැඩි තීරණයට එළඹ තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස (Downing Street) ප්‍රකාශ කර ඇත්තේ තාරුණ්‍යය සහ දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ ප්‍රබල තාක්ෂණික සමාගම් (Tech Giants) සමඟ වුව ද ගැටීමට අගමැතිවරයා පසුබට නොවන බවයි.
නිල වශයෙන් මෙම තහනම මෙම සතිය තුළ ප්‍රකාශයට පත් නොවුණ ද, ළමුන් ඉලක්ක කරගනිමින් සිදුවන ලිංගික කප්පම් ගැනීම් (Sextortion) සහ අසභ්‍ය දර්ශන සඳහා දරුවන් යොදාගැනීම වැළැක්වීමට රජය ගන්නා කඩිනම් පියවර පිළිබඳව අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන හානිය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය මේ වසරේ මුල සිටම දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සඳහා කාල සීමාවන් පැනවීම (Time Limits) සහ ඇබ්බැහි කරවන සුළු විශේෂාංග (Addictive Features) පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණි.
















