රුසියානු – යුක්රේන යුද්ධය පස්වන වසරටත් සක්‍රියව පවතින පසුබිමක, යුක්රේන හමුදාව සඳහා අනිවාර්ය සෙබළුන් බඳවා ගැනීමේ (Draft) ක්‍රියාවලියට එරෙහිව එර රට බටහිර ල්විව් (Lviv) නගරයේ දරුණු මහජන විරෝධයක් හටගෙන තිබේ. එහිදී කෝපයට පත් වැසියන් පිරිසක් විසින් හමුදා බඳවා ගැනීමේ නිලධාරීන්ගේ රථයක් පෙරළා දමා ඇති අතර, ඉන් අනතුරුව පොලිසිය සහ හමුදා සාමාජිකයන් සමඟ දරුණු ගැටුම් ඇති කරගෙන ඇත. මෙම නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව එරට රජයේ අභිචෝදකයන් සහ හමුදාව විසින් වහාම පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
යුද්ධය දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යාම හේතුවෙන් හමුදාවට අනිවාර්යයෙන්ම පුද්ගලයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය යුක්රේන සමාජය තුළ දැඩි දේශපාලන හා සමාජයීය විවාදයකට තුඩු දී ඇති කරුණකි. එහිදී මානව හිමිකම් උල්ලංඝනය වන බවටද බරපතළ චෝදනා එල්ල වෙමින් පවතින අතර, මේ හේතුවෙන් හමුදා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණ සිදු කරන බවට එරට බලධාරීන් පොරොන්දු වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















