ගල්කිස්ස පොලිස් වසමේ “ලිට්ල් ස්ටාර්” (Little Star) ආපනශාලාව අසලදී ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දී නොසන්සුන් ලෙස හැසිරුණු යුක්රේන ජාතික කාන්තාවක ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම සිදුවීම අප්‍රේල් 12 වනදා රාත්‍රී 11.50 ට පමණ සිදුව ඇති අතර, එම අවස්ථාවේදී අදාළ විදේශීය කාන්තාව බීමත්ව සිට ඇති බව වාර්තා වේ.
රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් වහාම මැදිහත් වී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් වාර්තාවලට අනුව මෙම යුක්රේන ජාතික කාන්තාව වසර 12ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින්නියකි. සිද්ධිය වන අවස්ථාවේ ඇය සමඟ සිටි අවුරුදු 14ක පමණ වයසැති ඇයගේ දරුවන් දෙදෙනාද, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් භාරයට ගෙන ඇත.
පහරකෑමට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර, ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














