පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි ‘සී’ සහ ‘බී’ කලාපවල වාරි ජලය පෝෂණය කරන ප්‍රධාන ජලාශය වන උල්හිටිය – රත්කිද නිවුන් ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැස තිබේ.
ජලාශයේ මුළු ධාරිතාව ඝන මීටර් මිලියන 146ක් වන අතර, දැනට පවතින ජල මට්ටම 35%ක් දක්වා පහත වැටී ඇත. එහෙත්, ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය ජලය රැස් කර ගැනීම පිණිස අවශ්‍ය නඩත්තු කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වන බවත්, ගොවි ජනතාවට බාධාවකින් තොරව වාරි ජලය ලබා දීමට කටයුතු කරගෙන යන බවත් උල්හිටිය රත්කිද ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු කේ.කේ.ටී.බී. රාජරත්න මහතා පවසයි.
මහවැලි ‘සී’ කලාපයේ පමණක් හෙක්ටයාර 22,000ක ගොවි බිම් ප්‍රමාණයක් මෙම ජලාශයෙන් පෝෂණය වන අතර, මෙයට අමතරව ‘බී’ කලාපයේ ගොවි බිම් සඳහා මාදුරුඔය ජලාශයට අතිරික්ත ජලය ලබා දීම සිදු කරනු ලබන්නේ ද මෙම නිවුන් ජලාශය මඟිනි.














