ඉදිරි මාස කිහිපය තුළ ලෝකයට බලපෑ හැකි නවතම එල් නිනෝ කාලගුණික රටාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. පැසිෆික් සාගරයේ නිවර්තන කලාපයේ සුළං රටාවන් වෙනස් වීම හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයට වඩා උණුසුම් ජල තට්ටුවක් සාගරය පුරා පැතිර යාම මෙම සංසිද්ධිය වන අතර, මෙය මේ වසරේ ඉතිරි කාලය තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ, පැසිෆික් සාගරයේ මීටර් සිය ගණනක් ගැඹුරින් සාමාන්‍ය තත්ත්වයට වඩා 6°C පමණ උණුසුම් ජල කඳක් පෙරදිග දෙසට ගමන් කිරීම නිසා, මෙය වාර්තා බිඳ දමන මට්ටමේ ‘සුපර්’ එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මෙම බරපතල කාලගුණික විපර්යාසය හේතුවෙන් ලොව පුරා පෘෂ්ඨීය උෂ්ණත්වය ඉහළ යන අතර, කලාපීය වශයෙන් කාලගුණ රටාවන් දැඩි ලෙස අඩාල වීමක් සිදුවේ. මේ හරහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඇමේසන් වනාන්තර ප්‍රදේශවල අධික නියඟය සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ යන අතර, දකුණු අමෙරිකානු සහ අප්‍රිකානු කලාපයන්හි ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සමඟ ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද මතු වී තිබේ.
මෙම තත්ත්වය කෘෂිකාර්මික අංශයට ද දැඩි බලපෑමක් එල්ල කරන අතර, බෝග විනාශ වීම සහ සැපයුම් දාම බිඳවැටීම නිසා ගෝලීය ආහාර මිල ගණන් ඉහළ යාමට මෙන්ම ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථික අලාභයන් සිදුවීමට ද ඉඩ ඇතැයි වාර්තා වේ. ගෝලීය වශයෙන් ඇති විය හැකි මෙම තත්ත්වය හමුවේ සූදානම් වීම සහ ඒ පිළිබඳ අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වී තිබේ.
















