ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවා ලෙස රටේ සමාජ-ආර්ථික දියුණුවට සහ ප්‍රතිසාධන ක්‍රියාවලියට තවදුරටත් අඛණ්ඩව සහයෝගය ලබා දීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා හමු වූ අවස්ථාවේදී ඇය මෙම බව සඳහන් කළාය. රජය විසින් මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලිය අගය කළ ඇය, 2028-2032 කාලසීමාව සඳහා ක්‍රියාත්මක වන නව දේශීය සංවර්ධන වැඩසටහන හරහා ඩිජිටල්කරණය, පුනර්ජනනීය බලශක්තිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ හරිත මූල්‍යකරණ ක්ෂේත්‍ර සඳහා UNDP හි පූර්ණ දායකත්වය ලබා දෙන බව තහවුරු කළාය. අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ද ඇය මෙහිදී හමුවී සාකච්ඡා පවත්වා ඇත.













