තාලිබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානයේ කාන්තා අධ්‍යාපනය සහ රැකියා සඳහා පනවා ඇති දැඩි සීමා හේතුවෙන්, 2030 වසර වන විට එරටට කාන්තා ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවිකාවන් 25,000කට වැඩි පිරිසක් අහිමි වීමේ අවදානමක් පවතින බව යුනිසෙෆ් ආයතනය අනතුරු අඟවයි. ඊයේ (27) නිකුත් කළ විශේෂ වාර්තාවකට අනුව පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය එරට අනාගත පරපුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන අයිතීන් බරපතල ලෙස අනතුරේ හෙළන බවයි.
තාලිබාන් රජය විසින් ගැහැණු ළමයින්ට වයස අවුරුදු 12න් පසු අධ්‍යාපනය ලැබීම තහනම් කර ඇති අතර කාන්තාවන්ට බොහෝ රාජ්‍ය රැකියා ද තහනම් කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2030 වන විට කාන්තා ගුරුවරුන් 20,000ක් සහ සෞඛ්‍ය සේවිකාවන් 5,400ක් පමණ ක්ෂේත්‍රයෙන් ඉවත් වනු ඇතැයි ගණන් බලා ඇත. ඇෆ්ගනිස්ථාන සංස්කෘතියට අනුව කාන්තා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය සේවිකාවන් අත්‍යවශ්‍ය වන බැවින්, මෙය එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට පවා හේතු විය හැකිය.
මෙම අර්බුදය නිසා ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 84ක පමණ පාඩුවක් සිදුවන බව ද යුනිසෙෆ් වාර්තාව පෙන්වා දෙයි. යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂිකා කැතරින් රසල් අවධාරණය කරන්නේ අනාගත වෛද්‍යවරුන්, හෙදියන් සහ ගුරුවරුන් අහිමි වීම දරා ගැනීමට ඇෆ්ගනිස්ථානයට නොහැකි වනු ඇති බවයි. එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන තහනම ඉවත් කර ඔවුන්ට රැකියා සඳහා අවස්ථාව ලබා දෙන ලෙස එම ආයතනය තාලිබාන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.














