ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය විසින් ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට සහ කාන්තා රැකියාවලට පනවා ඇති දැඩි සීමාවන් ඉවත් නොකළහොත්, 2030 වසර වන විට එරටට කාන්තා ගුරුවරියන් සහ සෞඛ්‍ය සේවිකාවන් 25,000කට අධික පිරිසක් අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පවසයි.
වාර්තාවට අනුව, 2030 වන විට කාන්තා ගුරුවරියන් 20,000ක් සහ සෞඛ්‍ය සේවිකාවන් 5,400ක් පමණ අහිමි වනු ඇතැයි ගණන් බලා ඇත. මෙය 2021 වසරේ පැවති එරට ශ්‍රම බලකායෙන් 25%ක පමණ අගයකි. එසේම, 2035 වසර වන විට අහිමි වන සෞඛ්‍ය සේවිකාවන් සංඛ්‍යාව 9,600 දක්වා ඉහළ යා හැකි බව ද එම වාර්තාව සඳහන් කරයි.
2021 වසරේ බලයට පත්වීමෙන් පසු තලේබාන් පාලනය විසින් වයස අවුරුදු 12න් පසු ගැහැණු ළමයින්ට අධ්‍යාපනය ලැබීම තහනම් කර ඇති අතර බොහෝ රජයේ රැකියාවල නිරත වීම ද කාන්තාවන්ට තහනම් කර තිබේ. මෙම තීරණය හේතුවෙන් මේ වන විටත් ගැහැණු ළමයින් මිලියනයකට අධික පිරිසකගේ අධ්‍යාපනය අඩාල වී ඇති අතර, 2030 වන විට එම සංඛ්‍යාව දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ කැත්රින් රසල් (Catherine Russell) මහත්මිය අවධාරණය කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අනාගත ගුරුවරියන්, හෙදියන්, වෛද්‍යවරුන් සහ වින්නඹු මාතාවන් අහිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානයට නොහැකි බවයි. ගැහැණු ළමයින් අධ්‍යාපනයෙන් බැහැර කිරීම තුළින් රටේ සමස්ත සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතියම බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.














