විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙනැවිත් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය තාවකාලිකව අත්හිටුවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ක්‍රියාකාරී කමිටුව විසින් යෝජනාවක් සම්මත කර තිබේ. ශ්‍රී ලංකාව පිළිබඳ යුරෝපා සංගමයේ (EU) තක්සේරු වාර්තාව මඟින් විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම නිර්දේශ කර නොමැති බව පෙන්වා දෙමින් එජාපය මෙම ඉල්ලීම කර ඇත.
රටේ අධිකරණ පද්ධතිය මුහුණ දී සිටින බරපතලම ගැටළුව වන්නේ විසඳීමට නියමිත නඩු ලක්ෂ 11.1ක පමණ දැවැන්ත ප්‍රමාණයක් එකතු වීම බවත්, එය ව්‍යාපාරික හා මූල්‍ය අංශවලට බලපා ඇති බවත් යුරෝපා සංගමයේ වාර්තාව පෙන්වා දෙන බව එජාපය සඳහන් කරයි. දිස්ත්‍රික් විනිසුරුවරයෙකු වාර්ෂිකව නඩු 2,000ක් පමණ හසුරුවන අතර මැජිස්ට්‍රේට්වරුන් නඩු 5,000කට වඩා හසුරුවන බවත්, කොන්ත්‍රාත් බලාත්මක කිරීමට සාමාන්‍යයෙන් අවුරුදු 6ත් 7ත් අතර කාලයක් ගතවන බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එබැවින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් මෙම ගැටලු විසඳිය හැකි බවට රජය ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකි බව එජාපය අවධාරණය කරයි.
මෙම තත්ත්වය තුළ රජය විසින් කළ යුත්තේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තාවකාලිකව අත්හිටුවා, අගවිනිසුරුවරයා, අධිකරණය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර නව ක්‍රමවේදයක් සකස් කිරීම බව එම පක්ෂය වැඩිදුරටත් කියා සිටී.
















