‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කර ඇති බවත්, ඒ අනුව මගී ප්‍රවාහන දුම්රිය සේවාවන්හි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳවත් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා කරුණු පැහැදිලි කළේය.
මෙම නව වැඩපිළිවෙළට අනුව දුම්රිය සේවාවේ සිදුවන වෙනස්කම් පහත පරිදි වේ:
නානුඔය දක්වා දුම්රිය ගමන්: දැනට බදුල්ලේ සිට අඹේවෙළ දක්වා පමණක් සීමා වී ඇති මගී ප්‍රවාහන දුම්රිය සේවාව, මෙම මස 20 වන දින සිට නානුඔය දක්වා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
නාවලපිටිය – බදුල්ල දුම්රිය සේවාව: නාවලපිටිය සහ බදුල්ල අතර මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් සැප්තැම්බර් මාසයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ හැටන් ලංගම ඩිපෝවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක් වූ අවස්ථාවේදියි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික කටයුතු අමාත්‍යාංශයේ රුපියල් මිලියන 6.7ක ප්‍රතිපාදන මත මෙම ඩිපෝ භූමිය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ඇත.
එහිදී හැටන් ලංගම ඩිපෝවේ කාර්යභාරය ඇගයූ මන්ත්‍රීවරයා, දිනකට බස් රථ 75ක් පමණ ධාවනය කරවමින් එම ඩිපෝව ඉහළ ආදායම් ලබන ස්ථානයක් බව පෙන්වා දුන්නේය. එම ඩිපෝවේ පවතින රියදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු පිරවීමට සහ සේවක සුබසාධක කටයුතු ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















