උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ශීඝ්‍රයෙන් සිදු කෙරෙන අතර, ලබන වසරේ මුල් මාස කිහිපය තුළ කොළඹ සිට මහනුවර දක්වාත්, පේරාදෙණියේ සිට බදුල්ල දක්වාත් දුම්රිය ගමනාගමනය පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය අධිකාරියේ ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පවසයි.
මේ වන විට රඹුක්කන සිට මහනුවර දක්වා මාර්ගයේ හානි වූ ස්ථාන 97න් 92ක්ම අලුත්වැඩියා කර අවසන්ය. පේරාදෙණිය සිට ගම්පොළ දක්වා මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති අතර, නාවලපිටිය හා කොටගල අතර සීමිත දුම්රිය ගමන් වාර කිහිපයක් ද ක්‍රියාත්මක වේ. නානුඔය සිට බදුල්ල දක්වා කොටසේ ද බොහෝ ස්ථාන අලුත්වැඩියා කර දුම්රිය ධාවනය ආරම්භ කර ඇත. ඉතිරිව ඇති කොටස්වල ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) තාක්ෂණික උපදෙස් මත මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
















