ඇමරිකාවේ ප්‍රධාන නගර රැසක වායු දූෂණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර, ඩෙට්‍රොයිට් (Detroit) නුවර ලොව දූෂිතම වායු තත්ත්වයක් සහිත නගරය ලෙස වාර්තා වේ. දූෂිත වායු දර්ශකයේ අගය 600ක් දක්වා ඉහළ යාම හේතුවෙන් එය ඇමරිකානු පාරිසරික ආරක්ෂණ ඒජන්සිය මගින් “අනතුරුදායක” මට්ටම ලෙස නම් කර ඇති සීමාව මෙන් දෙගුණයක් වෙයි.
මිනසෝටා, මිචිගන්, ඉලිනොයිස් සහ ඔහියෝ ඇතුළු ප්‍රාන්ත රැසක සහ කැනඩාවේ ටොරොන්ටෝ නුවර දක්වා මෙම දූෂිත දුම් තත්ත්වය පැතිර පවතී. නිව්යෝර්ක් නගරයේ අහස ද තැඹිලි පැහැති මීදුමකින් වැසී ගොස් ඇති අතර, වැඩිහිටියන්, ගර්භණී මව්වරුන් සහ හෘද හා පෙනහළු රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට එළිමහනේ කාලය ගත කිරීම සීමා කරන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී ඇත.
දේශගුණික විපර්යාසයන්ගේ සෘජු බලපෑමක් ලෙස මෙම තත්ත්වය හැඳින්වෙන අතර, ඉදිරියේදී වායු තත්ත්වය තවදුරටත් නරක අතට හැරිය හැකි බව විද්‍යාඥයින් අනතුරු අඟවයි. මෙම සති අන්තයේ නිව් ජර්සිහිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු අවසන් තරඟයට ද මෙම කාලගුණික තත්ත්වය බාධාවක් වනු ඇතැයි බලධාරීන් බිය පළ කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














