ඇමෙරිකාව විසින් පනවා ඇති නාවික අවහිරය (Naval Blockade) උල්ලංඝනය කරමින් ඉරාන වරායක් වෙත යාමට උත්සාහ කළ ඉරාන ධජය සහිත ‘M/T Hasna’ නම් තෙල් නැවකට ඇමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කර එය අක්‍රිය කර තිබේ. මෙම සිදුවීම අද (06) උදෑසන ඕමාන් බොක්කේදී සිදුවූ බව ඇමෙරිකානු මධ්‍යම අණසක (CENTCOM) නිල වශයෙන් තහවුරු කළේය.
නෞකාව ජාත්‍යන්තර මුහුදු තීරයේ සිට ඉරානය දෙසට යාත්‍රා කරන බව නිරීක්ෂණය කළ ඇමෙරිකානු හමුදා, එය නතර කරන ලෙස අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන්, ‘USS Abraham Lincoln’ ගුවන්යානා ප්‍රවාහන නෞකාවේ සිට අහසට නැඟුණු ‘F/A-18 Super Hornet’ ප්‍රහාරක යානයක වූ මිලිමීටර් 20 කාලතුවක්කුවකින් නෞකාවේ සුක්කානම (Rudder) ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් පසු නෞකාව අක්‍රිය වූ අතර එය මේ වන විට ඉරානය දෙසට යාත්‍රා නොකරන බවත්, ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරය තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඇමෙරිකානු බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.














