ඉරානයට එරෙහිව කොංග්‍රසයේ අනුමැතියකින් තොරව වැඩිදුර හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ යෝජනාවක් ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගෙන තිබේ. මෙම යෝජනාව ඡන්ද 215කට එරෙහිව ඡන්ද 208කින් සම්මත වූ අතර, පාලක පක්ෂයේම රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයින් සමඟ එක්ව මෙම තීරණයට සහාය පළ කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සිදුවීමකි.
පසුගිය පෙබරවාරි මාසයේ ඉරාන ගැටුම ආරම්භ වූ දා සිට ට්‍රම්ප් පරිපාලනයේ යුධ බලතල සීමා කිරීමට නීති සම්පාදකයින් උත්සාහ දැරූ සිව්වන අවස්ථාව මෙය වේ. අඛණ්ඩ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා කොංග්‍රසයේ නිසි අවසරයක් නොමැති බව විවේචකයින් පෙන්වා දෙති. තෝමස් මැසි, බ්‍රයන් ෆිට්ස්පැට්‍රික්, ටොම් බැරට් සහ වොරන් ඩේවිඩ්සන් යන රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් මෙයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, මීට පෙර මෙවැනි උත්සාහයන්ට විරුද්ධ වූ ඩිමොක්‍රටික් මන්ත්‍රී ජාරඩ් ගෝල්ඩන් ද මෙවර යෝජනාවට සහාය පළ කළේය.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත තවදුරටත් ඉදිරියට යාමට නම් රිපබ්ලිකන් පක්ෂයේ බහුතර බලයක් පවතින සෙනෙට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබිය යුතුය. එසේ අනුමත වුවද, ජනාධිපති ට්‍රම්ප්ට සිය වීටෝ (Veto) බලය භාවිතා කරමින් එය අවහිර කිරීමට හැකියාව ඇති අතර, එවැනි අවස්ථාවක එම තීරණය අභිබවා යාමට කොංග්‍රසයේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වේ.
ද්විපාර්ශවික සටන් විරාම ගිවිසුමක් පවතින පසුබිමක වුවද දෙපාර්ශවයම මෑත දිනවල ප්‍රහාර හුවමාරු කරගෙන තිබේ. කෙසේ වෙතත්, ඉරානය සමඟ පැවැත්වෙන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සාර්ථක මගක පවතින බවත්, මෙම සති අන්තය වන විට අවසන් තීරණයකට පැමිණීමට හැකි වනු ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
















