චීන තාක්ෂණික දැවැන්තයෙකු වන හුවාවේ සමාගමට එරෙහිව අමෙරිකාවේ බෘක්ලින් ෆෙඩරල් අධිකරණයේ අපරාධ නඩු විභාගයක් ආරම්භ වී තිබෙනවා.
අමෙරිකානු ජකයන් චෝදනා කරන්නේ, 1999 සිට 2020 දක්වා කාලය තුළ අමෙරිකානු සමාගම් පහක වෙළඳ රහස් සොරකම් කිරීම, බැංකු හා වයර් වංචා සිදුකිරීම සහ ඉරානයට පනවා තිබූ සම්බාධක මඟහැරීම ඇතුළු ක්‍රියාකාරකම්වල හුවාවේ සමාගම නිරත වූ බවයි. සිස්කෝ සමාගමේ රවුටර් මෘදුකාංග කේත සහ T-Mobile සමාගමේ දුරකථන පරීක්ෂණ සඳහා භාවිත කළ රොබෝ අතක තාක්ෂණය සොරකම් කළ බවටද චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, හුවාවේ සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබෙනවා. සමාගම පවසන්නේ සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනු සහ තනි සේවකයන්ගේ ක්‍රියාකාරකම් සමාගමට එරෙහි කුමන්ත්‍රණයක් ලෙස අර්ථකථනය කරන බවයි.
මෙම නඩු විභාගය මාස තුනක් පමණ පැවැත්වීමට අපේක්ෂා කරන අතර, අමෙරිකාව සහ චීනය අතර පවතින තාක්ෂණික හා ආර්ථික තරගකාරීත්වය මධ්‍යයේ එය සිදුවනවා. චීනයද මෙම නඩු පැවරීම විවේචනය කරමින් චීන සමාගම්වලට එරෙහි අමෙරිකානු පීඩනයට විරෝධය පළ කර තිබෙනවා.













