පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ යුදමය වාතාවරණය නිම කරමින් ස්ථිර සටන් විරාමයකට ඉරානය පොළඹවා ගැනීම සඳහා, එරට වරායන් අවහිර කරමින් අමෙරිකාව ක්‍රියාත්මක කරන උපායමාර්ගික සැලසුම (Masterplan) සාර්ථක වනු ඇතැයි අමෙරිකානු පරිපාලනය දැඩි විශ්වාසයකින් පසුවේ.
ඉරානයේ පර්සියානු බොක්කෙහි පිහිටි කාර්ග් (Kharg) දූපත එරට බොරතෙල් අපනයනයෙන් 90%ක්ම සිදුකරන ප්‍රධාන මධ්‍යස්ථානයයි. අමෙරිකාව ප්‍රමුඛ හමුදා විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ඉරාන වරායන් අවහිර කිරීම (Blockade) හේතුවෙන් ඉරානයට තෙල් අපනයනය කිරීමට නොහැකි වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාර්ග් දූපතේ ඇති තෙල් ගබඩා ටැංකි (Storage) ඉතා ඉක්මනින් පිරී යනු ඇති අතර, ඉන්පසු එරට තෙල් ළිං වසා දැමීමට ඉරානයට සිදුවනු ඇතැයි අමෙරිකාව අපේක්ෂා කරයි.
අප්‍රේල් 08 වැනිදා පාකිස්ථානයේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් කළ සති දෙකක තාවකාලික සටන් විරාමය ඊයේ (අඟහරුවාදා) අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ යුද හමුදාපති අසීම් මුනීර් යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි, ඉරාන නායකත්වයට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙමින් එම සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.
සටන් විරාමය දීර්ඝ කළද, ඉරානයට එරෙහිව පනවා ඇති නාවික අවහිර කිරීම් (Blockade) එලෙසම ක්‍රියාත්මක කරන ලෙසත්, ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල කිරීමට සීරුවෙන් පසුවන ලෙසත් අමෙරිකානු හමුදාවලට උපදෙස් දී තිබේ. ඉරානය පවතින ආර්ථික සහ මිලිටරි පීඩනය හමුවේ අමෙරිකාවේ කොන්දේසිවලට එකඟ වනු ඇති බව ට්‍රම්ප් පරිපාලනයේ අදහසයි.














