දශක කිහිපයකට පසු ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති ඉහළම මට්ටමේ සෘජු රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පසුගිය ඉරිදා (අප්‍රේල් 12) පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී අවසන් විය. කිසිදු නිශ්චිත එකඟතාවයකින් තොරව මෙම සාකච්ඡා නිමාවට පත් වුවද, දෙපාර්ශවය අතර පවතින ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා වන සංවාදයේ දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාර්තා වේ.
ඉස්ලාමාබාද්හි සෙරීනා හෝටලයේදී දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැති මෙම සාකච්ඡා සඳහා ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් කලිබාෆ් (Mohammad Baqer Qalibaf) සහභාගී වූහ. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික අවහිරතා, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක වැනි සංකීර්ණ කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, පකිස්ථානය මෙහිදී ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කර තිබේ.
1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසුව දෙරට අතර පැවැති වඩාත් තීරණාත්මක සහ ඉහළම මට්ටමේ සන්නිවේදනය මෙය වන අතර, දැඩි මතභේද පවතින කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවයම සිය ස්ථාවරයන්හි දැඩිව රැඳී සිටි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වෙතත්, සටන් විරාමයකින් පසුව ඇරඹි මෙම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට දෙපාර්ශවයම එකඟතාවය පළ කර තිබීම සුවිශේෂී තත්ත්වයකි.














