ජූලි මාසයෙන් පසු ඇමෙරිකාව සහ ඉරානය අතර සිදුවූ විශාලතම ප්‍රහාර හුවමාරුවත් සමඟ මැදපෙරදිග කලාපය පුරා නැවතත් දරුණු යුද බියක් නිර්මාණය වී තිබේ. ඇමෙරිකානු හමුදාව විසින් ඉරානයේ දකුණු වෙරළබඩ තීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ, රේඩාර් සහ සන්නිවේදන මධ්‍යස්ථාන වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් බහරේන්, ජෝර්දානය, කුවේට් සහ ඉරාකයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
ඇමෙරිකානු ප්‍රහාරවලින් සිරිකි (Sirik) ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවැති නිවසකට හානි සිදුවී සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු 4 දෙනෙකු මියගොස් 68 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරානය චෝදනා කරන නමුත්, ඇමෙරිකානු මධ්‍යම අණදෙන පාලනාධිකාරිය (CENTCOM) පවසන්නේ තමන් කිසිවිටෙකත් සිවිල් වැසියන් ඉලක්ක නොකරන බවයි. මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව නාවික ගමනාගමනයට ද බාධා මතුව ඇති අතර, කලාපයේ පිහිටි සියලුම ඇමෙරිකානු හමුදා කඳවුරු පලවා හැරීම තම මීළඟ ඉලක්කය බව ඉරාන හමුදා බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














