එලෝන් මස්ක්ගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන X වෙත යුරෝ මිලියන 120ක දඩයක් පැනවීමට එරෙහිව ගොනු කර ඇති නීතිමය අභියෝගයට එක්වීමට ඇමෙරිකානු රජය නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ.
Reuters වාර්තාවකට අනුව, ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ සිවිල් අංශයේ සහකාර නීතිපති බ්‍රෙට් ෂුමේට් සඳහන් කර ඇත්තේ යුරෝපා කොමිසම තම නියාමන බලය ඇමෙරිකානු සමාගම් වෙතද පුළුල් කිරීමට උත්සාහ කර ඇති බවයි. එම ප්‍රකාශය ඇමෙරිකානු රජයේ ස්ථාවරය ලෙස ඉදිරිපත් කර තිබේ.
යුරෝපා කොමිසම 2025 දෙසැම්බර් මාසයේදී X වෙත මෙම යුරෝ මිලියන 120ක දඩය පැනවූයේ Digital Services Act (DSA) යටතේ පවතින පාරදෘශ්‍යතා සම්බන්ධ වගකීම් උල්ලංඝනය කළ බවට තීරණය කිරීමෙන් අනතුරුවය. නිල් පැහැති සත්‍යාපන ලකුණ, දැන්වීම් දත්ත ගබඩාවේ පාරදෘශ්‍යතාව සහ පර්යේෂකයන්ට පොදු දත්ත වෙත ප්‍රවේශය ලබාදීම සම්බන්ධ කරුණු ඒ අතරට ඇතුළත් බව යුරෝපා කොමිසම සඳහන් කරයි.
මේ අතර, 2026 ජූලි මාසයේදී X විසින් DSA නීතිවලට අනුකූල වීම සඳහා ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලැස්මක්ද යුරෝපා කොමිසම පිළිගෙන තිබේ. එහිදී දැන්වීම් දත්ත ගබඩාව සහ පර්යේෂකයන්ගේ දත්ත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට X විසින් පියවර ගැනීමට එකඟ වී ඇත.
















