ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිකෙරෙන දේශසීමා තාප්පය හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මෙක්සිකානු අළු වෘකයන්ගේ (Mexican gray wolf) පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පරිසරවේදීන් පවසයි.
දශක කිහිපයකට පසු පළමු වරට රේඩියෝ කොලරයක් පැළඳි මෙක්සිකානු වෘකයෙකු පසුගිය සතියේ නිව් මෙක්සිකෝ ප්‍රදේශයේ සිට මෙක්සිකෝවේ චිහුවාහුවා (Chihuahua) ප්‍රදේශය වෙත සංක්‍රමණය විය. එහෙත් පරිසරවේදීන් අනතුරු අඟවන්නේ, දේශසීමාවේ ඉදිවන තාප්පය හේතුවෙන් මෙම වෘකයාට නැවතත් ඇමරිකානු දේශසීමාවට පැමිණීමට නොහැකි වනු ඇති බවයි. උතුරු ඇමරිකානු අළු වෘකයන්ගේ කුඩාම සහ දුර්ලභම උප විශේෂයක් වන මොවුන්, ‘ලොබෝ’ (Lobo) යන නමින්ද හඳුන්වනු ලබයි.
දෙරටේ වෘක ගහණයන් මෙලෙස හුදෙකලා වීම තුළින් ඔවුන්ගේ ජාන විවිධත්වය අඩුවීම, අන්තර් අභිජනනය (Inbreeding), උපත් අනුපාතය පහළ යාම සහ පිළිකා වැනි රෝගී තත්ත්වයන් වර්ධනය වීම සිදුවිය හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, ඇමරිකානු නිලධාරීන් පවසන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම ඉදිකිරීම් අත්‍යවශ්‍ය බවත්, වන සතුන් ගමන් කිරීම සඳහා විශේෂ මාර්ග (wildlife crossings) ඉදිකිරීම වැනි අවම කිරීමේ පියවරයන් සැලසුම් කර ඇති බවත්ය.














