මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට ඇතුළු වී සයිබර් අපරාධකරුවන් විසින් සිදුකරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය කොල්ලය සහ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ඩොලර් 625,000ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා සහාය වීමට සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි. ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය මුදලක් සහ ඇමරිකානු තැපැල් සේවයට (USPS) ගෙවීමට තිබූ මුදල් මෙලෙස සොරකමට ලක්ව ඇති අතර, මේ පිළිබඳ විමර්ශන සඳහා ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව මේ වන විට අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සමඟ පවතින නීතිය බලාත්මක කිරීමේ සහයෝගීතාව තමන් අගය කරන බවත්, නිසි රාජ්‍ය තාන්ත්‍රික නාලිකා හරහා ඉදිරිපත් කරන නිල ඉල්ලීම් සලකා බැලීමට ඇමරිකාව සූදානම් බවත්ය. විශේෂයෙන්ම ඇමරිකානු රජයේ ආයතන සම්බන්ධ විදේශීය ගනුදෙනුවල ආරක්ෂාව පිළිබඳව තමන් දැඩි අවධානයක් යොමු කරන බව ද ඔහු පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනටමත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මීට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා ද FBI ආයතනය මෙරටට සහාය ලබා දී තිබුණි.














