ඉරාන ධජය යටතේ යාත්‍රා කරමින් තිබියදී අමෙරිකානු හමුදා භාරයට ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාව “චීනයෙන් ලැබුණු තෑග්ගක්” බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ චෝදනාව චීන විදේශ අමාත්‍යාංශය අද (24) තරයේ ප්‍රතික්ෂේප කළේය. ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිරතා මඟහරිමින් ගමන් කිරීමට උත්සාහ කළ මෙම නෞකාවට වෙඩි තබා එය අත්අඩංගුවට ගත් බව අමෙරිකාව පවසයි.
මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ආතතිය තවදුරටත් උග්‍ර වී තිබේ. අදාළ නෞකාව චීනයේ සිට යාත්‍රා කරමින් තිබූ එකක් බව තහවුරු කරන ඉරාන හමුදාව, අමෙරිකානු හමුදාවේ මෙම ක්‍රියාව “සන්නද්ධ කොල්ලකෑමක්” ලෙස හඳුන්වමින් එයට එරෙහිව දැඩි ලෙස පළිගන්නා බවට ප්‍රතිඥා දී ඇත. ඉරාන යුද්ධය හමුවේ ලෝක බලවතුන් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටුම් මෙම සිදුවීම හරහා තවදුරටත් වර්ධනය වී ඇති අතර, ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය පදනම් විරහිත බව චීනය අවධාරණය කරයි.














