එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලිටෝරල් කොම්බැට් (Littoral Combat) නෞකාවක් වන USS කැන්බරා (USS Canberra) නෞකාව අද (12) කොළඹ වරායට පැමිණියේය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ, මෙය මෙරටට පැමිණි සිව්වන එක්සත් ජනපද නාවික හමුදා ලිටෝරල් කොම්බැට් නෞකාව බවයි.
කමාන්ඩර් ජේම්ස් මික්ලොෆ්ලින්ගේ අණදීම යටතේ ක්‍රියාත්මක වන මෙම නෞකාව, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කොළඹ වරායේ කෙටි නවාතැනක් සඳහා පැමිණ ඇත. මීට පෙර USS ටල්සා, USS චාල්ස්ටන් සහ USS සැන්ටා බාර්බරා යන නෞකාවන් ද මෙලෙස කොළඹට පැමිණ තිබේ.
ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව, සහයෝගීතාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් සමුද්‍රීය හවුල්කරුවන් අතර පවතින අඛණ්ඩ සබඳතා ඉස්මතු කරමින් මෙම සංචාරය සිදු වේ. 2023 වසරේ ජූලි මාසයේදී සේවයට එක් වූ USS කැන්බරා, වෙරළාසන්න මෙහෙයුම්, සමුද්‍රීය ආරක්ෂාව සහ මුහුදු පාලනය සඳහා නිර්මාණය කර ඇති ඉන්ඩිපෙන්ඩන්ස් ප්‍රභේදයට අයත් අති නවීන සටන් නෞකාවකි.
මෙම වරාය සංචාරය මගින් ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද නාවික හමුදාවන් අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් තහවුරු කෙරේ. ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.
















