ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් විදේශ රටවලින් ඖෂධ ආනයනය කර ඔසුසැල් වෙත ලබාදෙන නියෝජිතයෙකු ලෙස රඟපා, රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් වංචා කළ බව කියන කාන්තාව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ අද (18) නියෝග කළාය. හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් හොරණ ගුරුගොඩ පදිංචි මෙම සැකකාරිය මුදල් වංචාව, සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඇය සතුව රජයේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වූ කිසිදු සහතිකයක් නොමැති බවත්, තිබී ඇත්තේ ව්‍යාජ ආයුර්වේද වෛද්‍ය සහතිකයක් සහ ව්‍යාජ වෛද්‍ය හැඳුනුම්පත් පිටපතක් පමණක් බවත් පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය.
විමර්ශන අවසන් නොමැති බැවින් ඇය රිමාන්ඩ් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියද, විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙය දේපළ ඇපයට තබා ගත් ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් හටගත් සිවිල් ආරවුලක් බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, වෙන් වෙන්ව පවතින චෝදනා සඳහා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකාරියට නියම කළාය. එමෙන්ම සෑම මාසයකම අවසාන ඉරු දින හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත වාර්තා කළ යුතු බවට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, නඩුව නැවත සැප්තැම්බර් මස 13 වැනිදා කැඳවීමට නියම කළාය.
















