වත්මන් ආණ්ඩුවට පැහැදිලි වැඩපිළිවෙළක්, දර්ශනයක් හෝ හැකියාවක් නොමැතිකම හේතුවෙන් ඉදිරියේදී රටේ සියලු දෙනාටම අස්වැසුම සහනාධාරය ලබාදීමට සිදුවන මට්ටමට රට ආර්ථික වශයෙන් විනාශ වෙමින් පවතින බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ල උළුවිටිකේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
රට තුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමට පවා වත්මන් රජය අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා එදා ‘L බෝඩ් කට්ටියට රට බාරදෙන්න එපා’ යැයි ප්‍රකාශ කළේ මෙවැනි තත්ත්වයන් කල්තියා හඳුනාගත් නිසා බව සඳහන් කළේය. පවතින ආර්ථික පීඩනය හමුවේ ජනතාවට හුස්ම ගැනීමට පවා නොහැකි වී ඇති මොහොතක අස්වැසුම සහනාධාර කප්පාදු කිරීමට සූදානම් වන බවට ද ඔහු චෝදනා කළේය. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට දීමට වත්මන් පාලකයන්ට මිල සූත්‍රය පිළිබඳ අවබෝධයක් නැති බවත්, මහජනතාවගේ නොදැනුවත්කම නිසාම ඔවුන් විසින්ම මෙම ප්‍රශ්න ඇති කරගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















