ගෝලීය ආර්ථික අර්බුද හමුවේ ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ලංකා සතොස වෙළෙඳසල් ජාලය හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අද (10) සිට පහත හෙළීමට තීරණය කර ඇත. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, ජනතාවාදී රජයක් ලෙස ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑම හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජයේ මැදිහත්වීම උපරිමයෙන් සිදු කරන බවයි.
මෙම තීරණය අනුව ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රටකජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල් සහ පොන්නි සම්බා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කර තිබේ. පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු මිල ගණන් යටතේ මෙම භාණ්ඩ පාරිභෝගික ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ලංකා සතොස සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ මැදිහත්වීමෙන් මෙම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
















