පසුගිය දිනවල හටගත් සුළි කුණාටුව හේතුවෙන් නායයෑම් සහ ගල් පෙරළීමේ අවදානමට ලක්වූ වැවන්ඩන් වත්ත සහ එම විද්‍යාලය සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වැවන්ඩන් දෙමළ විද්‍යාලයේ සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් රම්බොඩ තොණ්ඩමන් සංස්කෘතික ශාලාව අසලදී විරෝධතාවයක නිරත විය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් පාසල් භූමිය සහ වතුයාය නායයෑම් අවදානමට ලක්ව ඇති බවට නිර්දේශ කිරීමෙන් පසුව, එම පාසලේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු තාවකාලිකව රම්බොඩ තොණ්ඩමන් සංස්කෘතික ශාලාවේ පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබිණි. කෙසේ වෙතත්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපන ලබන සිසු සිසුවියන් කොත්මලේ අධ්‍යාපන කලාපයේ වෙනත් දුර බැහැර පාසල්වලට යොමු කිරීමට කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර ඇති බවට ලද තොරතුරු හේතුවෙන් දෙමව්පියන් මෙම විරෝධතාවය දියත් කළේය.
තම දරුවන් එතරම් දුර බැහැර පාසල්වලට යැවීමට නොහැකි බවත්, ඒ වෙනුවට තම වතුයායට ආසන්නයේම සුදුසු ස්ථානයක නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර දෙන ලෙසත් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම විරෝධතාවය අතරතුර නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා එම ස්ථානයට පැමිණි අතර, අදාළ ගැටලුව සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබා දෙන බවට ඔහු දෙමව්පියන්ට පොරොන්දු විය. මෙම සාකච්ඡාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාර සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ භූවිද්‍යාඥ බුද්ධික බණ්ඩාර විජේකෝන් යන නිලධාරීහු ද සහභාගි වූහ.
















