රජයට පමණක් දොස් නොපවරා පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව ද තම පරිභෝජනය කළමනාකරණය කර ගනිමින් අරපිරිමැස්මෙන් කටයුතු කළ යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසති. සහනාධාර මතම යැපෙන ක්‍රමයක් තුළින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව පෙන්වා දෙන උන්වහන්සේ, නිදහසින් පසු දශක හතකට වැඩි කාලයක් තිස්සේ ජනතාව “පිනට කෑමට” හුරු වී සිටින බව ප්‍රකාශ කරති.
නිසි ආර්ථික කළමනාකරණයක් ජනතාව තුළ නොමැති බව පවසන රාහුල හිමියන්, තරුණ පිරිස් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා විශාල වශයෙන් ඉන්ධන නාස්ති කරන බව තමන් වහන්සේ නිරීක්ෂණය කර ඇති බව සඳහන් කරති. වත්මන් රජය ක්‍රියාත්මක කරන ‘අස්වැසුම’ වැනි සුභසාධන වැඩසටහන් ද මාස 6ක් හෝ වසර 2ක් වැනි සීමිත කාලයකට පමණක් සීමා කර ඉන් පසු අහෝසි කළ යුතු බව උන්වහන්සේ යෝජනා කරති. සහනාධාර සහ පඩි ලබා දෙමින් පමණක් රට ගොඩනැගිය නොහැකි බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.
















