ලොව සුප්‍රසිද්ධ වැනීසියේ බියෙනාලේ ජාත්‍යන්තර කලා ප්‍රදර්ශනයේ (Venice Biennale) විනිශ්චය මණ්ඩලය විසින් රුසියාවේ සහ ඊශ්‍රායලයේ කලාකරුවන් මෙවර සම්මාන සඳහා සලකා බැලීමෙන් ඉවත් කර තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මගින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නායකයන් සහිත රටවල් මෙලෙස ඉවත් කිරීමට ඔවුන් තීරණය කර ඇත.
ගෝල්ඩන් ලයන් (Golden Lion) සහ සිල්වර් ලයන් (Silver Lion) සම්මාන තෝරා පත් කර ගන්නා පස් දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කළේ, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම තම වගකීමක් බවයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම මෙම තීරණයට හේතු වී තිබේ.
මෙම මතභේදාත්මක තීරණයත් සමඟ යුරෝපා සංගමය (EU) බියෙනාලේ උළෙල සඳහා ලබා දීමට නියමිත යුරෝ මිලියන 2ක ප්‍රදානය අත්හිටුවීමට සූදානම් වන බවට වාර්තා වේ. මැයි 09 වනදා ආරම්භ වීමට නියමිත මෙම උළෙල සඳහා ලොව පුරා කලාකරුවන් 110 දෙනෙකු සහභාගී වීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් රෝමයේ පිහිටි රුසියානු සහ ඊශ්‍රායල තානාපති කාර්යාල මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
















