පවතින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ රට පුරා සිටින ගැබිනි මව්වරුන්ගේ දීමනා, ළමා පෝෂණ වැඩසටහන් සහ ආපදා කළමනාකරණ අරමුදල් ප්‍රතිප්‍රතිපාදන නොමැති බව පවසමින් රජය විසින් කපාහරිද්දී, දුම්කොළ කර්මාන්තයට ලබාදුන් රහසිගත බදු සහනය වෙනුවෙන් මෙරට පොදු මහජනතාව මත රුපියල් බිලියන 17.3ක අතිරේක බදු බරක් පටවා ඇති බව “වෙරිටේ රිසර්ච්” (Verité Research) ආයතනයේ නවතම ආර්ථික විශ්ලේෂණය මගින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළිදරව් කර තිබේ. රටේ පුරවැසියන් වඩාත්ම කෝපයට පත් විය යුතු කරුණ වන්නේ, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා “කැපකිරීම්” කළ යුතු බව පවසමින් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා බඩුබාහිරාදිය, විදුලිය සහ මාසික වැටුප මත අසීමිත ලෙස බදු පැනවූ රජය, ලෝකයේ වැඩිම බදු පැනවිය යුතු බවට ජාත්‍යන්තරව නිර්දේශිත එකම භාණ්ඩය වන සිගරට් මත බදු බර සිතාමතාම පහත හෙළීමයි.
වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන පරිදි, දුම්කොළ සමාගමට රහසිගතව ලබාදුන් මෙම රුපියල් බිලියන 17.3ක (කෝටි 1,730ක) දැවැන්ත බදු සහනය, ලංකාවේ සමස්ත ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා වෙන්කළ ප්‍රතිපාදන මෙන් 1.2 ගුණයකි. එමෙන්ම රටේ පවතින මන්දපෝෂණය තුරන් කිරීමේ ජාතික පෝෂණ වැඩසටහන් සඳහා වෙන්කළ මුදල මෙන් 1.3 ගුණයක් වන අතර, පෞද්ගලික අංශයේ සේවිකාවන් සඳහා ප්‍රසූත නිවාඩු දීමනා (Maternity leave benefits) ගෙවීමට ඇස්තමේන්තුගත මුදල මෙන් 2.4 ගුණයක අතිවිශාල ධනස්කන්ධයකි. මූල්‍ය හිඟකම හේතුවෙන් රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන මෙම සියලුම තීරණාත්මක සමාජ සුබසාධන වැඩසටහන් සඳහා අවශ්‍ය මුදල් රටේ ආර්ථිකයෙන් අතුරුදන් වී නොමැති අතර, එම මුදල් රජය විසින් ලබාදුන් බදු සහනාධාරයක් ලෙස ලංකා දුම්කොළ සමාගමේ (CTC) ශුද්ධ ලාභ ලේඛනගත ගිණුම් මත ඉතා සුරක්ෂිතව තැන්පත් වී පවතී.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ලෝක බැංකුව (World Bank) මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවා සෞඛ්‍ය මෙන්ම මූල්‍යමය හේතූන් මත සිගරට් සඳහා උපරිම බදු පැනවිය යුතු බවට සෘජුවම නිර්දේශ කර තිබේ. එහෙත්, විදුලි බිල හෝ ඉන්ධන මිල සුළු වශයෙන් හෝ අඩුකර ජනතාවට සහනයක් දීමට උත්සාහ කරන විට “මූල්‍ය විනය” (Fiscal responsibility) පිළිබඳව දිගින් දිගටම තර්ක කරන ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඇතැම් දේශපාලන අධිකාරීන්, දුම්කොළ සමාගමට මෙලෙස අතිදැවැන්ත බදු සහනයක් රහසිගතව ලබාදීමේදී පූර්ණ නිහඬතාවයක් රැකීම බරපතළ පරස්පර විරෝධී තත්ත්වයකි. රටේ අත්‍යවශ්‍යම සමාජ සහයෝගිතා පද්ධතීන් පවත්වාගෙන යාමට තිබූ මහජන මුදල් මෙලෙස බහුජාතික දුම්කොළ සමාගමක ලාභය වැඩිකිරීම වෙනුවෙන් පරිවර්තනය කිරීමට ඉඩහැර ඇති බැවින්, වත්මන් පාලකයන් වහාම මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කළ යුතු බව ආර්ථික විද්වතුන් වැඩිදුරටත් අවධාරණය කර සිටිති.
















