පසුගියදා තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා ලෙස පත් වූ ජෝසප් විජේ (සුපිරි නළු විජේ) මහතා විසින් තම උපදේශකයකු ලෙස පත් කළ ප්‍රකට ජ්‍යොතීර්වේදී රිකී රාධන් පණ්ඩිත් වෙට්‍රිවේල්ගේ පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. දේශපාලන තීන්දු තීරණ සඳහා ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ඈඳා ගැනීමට එරෙහිව මහ ඇමැතිවරයාගේ සහායක දේශපාලන සගයන්ගෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පත්වීම ලබා දී පැය 24ක් ඇතුළත එය ඉල්ලා අස්කර ගැනීමට රජයට සිදු විය.
මහ ඇමැති විජේගේ දේශපාලන පක්ෂය වන ‘තමිල්නාඩු වෙට්‍රි කසාගම්’ (TVK) ආරම්භ කළ වේලාව, පක්ෂයේ නම සහ දිවුරුම් දීමේ උත්සවයේ නැකත් වේලාවන් පවා තීරණය කර තිබුණේ විජේගේ සමීපතම විශ්වාසවන්තයකු වූ පණ්ඩිත් වෙට්‍රිවේල් විසිනි. මැතිවරණයට පෙර ඔහු කළ අනාවැකි අනුව TVK පක්ෂය තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234න් ආසන 108ක් දිනා ගනිමින් ප්‍රබල දේශපාලන පෙරළියක් සිදු කිරීමට සමත් විය.
වෛදික ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය සහ සංඛ්‍යා ශාස්ත්‍රය පිළිබඳ වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති පණ්ඩිත් වෙට්‍රිවේල්, මීට පෙර ඉන්දීය දේශපාලන දැවැන්තයකු වූ එල්.කේ. අද්වානි, හිටපු මහ ඇමැතිනි ජයලලිතා, ප්‍රකට නිළි මනීෂා කොයිරාල ඇතුළු ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ ප්‍රභූන් රැසකගේ ජ්‍යොතීර්වේදියා ලෙස කටයුතු කර ඇත. ඉන්දීය දේශපාලනයේ නායකයන් ජ්‍යෝතිර්වේදීන් කෙරෙහි විශ්වාසය තැබීම සාමාන්‍ය සිරිතක් වුව ද, රාජ්‍ය උපදේශක ධුරයකට මෙලෙස ජ්‍යොතීර්වේදියකු පත් කිරීමට එරෙහිව ප්‍රාන්තය තුළ දැඩි දේශපාලන කතාබහක් නිර්මාණය වී තිබේ.














