අභියෝගාත්මක අවස්ථාවක රට ස්ථාවර කිරීමට සමත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමා සතු අත්දැකීම් ප්‍රයෝජනයට නොගතහොත් ශ්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ යටත් විජිතයක් වීමේ අවදානමක් පවතින බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ඊයේ (15) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, ජනතාව සුරංගනා කතාවලට මුළා නොවී 1977 වසරේ සිදුවූවාටත් වඩා දැවැන්ත දේශපාලන පරිවර්තනයක් සඳහා සූදානම් විය යුතු බවයි.
රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මහා භාණ්ඩාගාරය මත පැටවෙන ණය බර පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, ඩොලරයට සාපේක්ෂව රුපියල එක් ඒකකයකින් පහත වැටෙන සෑම විටම ණය බර රුපියල් බිලියන 37කින් ඉහළ යන බව පෙන්වා දුන්නේය. තවද, පවතින ආර්ථික පීඩනය හමුවේ ජනතාව රන් ආභරණ උකසට තබා අවුරුදු සැමරීමට සිදුවීම රජය අවබෝධ කරගත යුතු බවත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත වැටීමේ වාසිය මිල සූත්‍රය හරහා කඩිනමින් ජනතාවට ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.














