විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මැයි 12 වැනිදා සිට 15 වැනිදා දක්වා බෙලරුස් ජනරජයේ සිදු කළ නිල රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සාර්ථකව අවසන් කර තිබේ. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර ගුවන් සේවා පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් මෙන්ම, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පිළිබඳ විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීම මෙම සංචාරයේදී සිදුවූ සුවිශේෂී ප්‍රගතියකි. මින්ස්ක් හි විජයග්‍රාහී ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරමින් සිය සංචාරය ආරම්භ කළ අමාත්‍යවරයා, එහිදී මියගිය වීරයන් වෙත උපහාර දක්වනු ලැබීය.
මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් ජනරජයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ (Alexander Lukashenko) මහතා, ජනරජ කවුන්සිලයේ සභාපති නටාලියා කොචනෝවා මහත්මිය සහ විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව් මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. එහිදී දෙරටේ වෙළෙඳ, ආර්ථික සහ දේශපාලන උපදේශනවල මීළඟ වටයන් මෙම වසර අගදී පැවැත්වීමට තීරණය කෙරිණි. එමෙන්ම බෙලරුස් හි ඉගෙනුම ලබන 3,000කට අධික ශ්‍රී ලාංකික සිසුන්ගේ යහපැවැත්ම පිළිබඳව ද, වාර්ෂිකව ලංකාවට පැමිණෙන 10,000කට අධික බෙලරුසියානු සංචාරකයන් වෙනුවෙන් කොළඹ සහ මින්ස්ක් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට “බෙලවියා” (Belavia) ගුවන් සේවයට ආරාධනා කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. බෙලරුස් ඇතුළු රටවල් 40ක සංචාරකයන්ට නොමිලේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය (ETA) ලබා දීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෑතකදී ගත් පියවර බෙලරුසියානු පාර්ශ්වයේ ඉහළ ඇගයීමට ලක්ව ඇත.
















