විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් මහතා අතර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ජාත්‍යන්තර නීතියට අනුකූලව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අමාත්‍යවරයා යළි අවධාරණය කළේය. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන සුරක්ෂිතතාව වෙනුවෙන් අමෙරිකානු රජය දැක්වූ සහාය මෙන්ම, ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාවන් වෙත ලබා දුන් නවීන තාක්ෂණික උපකරණ සහ යාත්‍රා වෙනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සිය රජයේ කෘතඥතාව පළ කළේය.
මෙම හමුවේදී දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන හිතකාමී සහ ආරක්ෂිත පරිසරය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලද අතර, අමෙරිකානු ආයෝජකයින්ට මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසීමට අමාත්‍යවරයා විසින් විශේෂ ආරාධනයක් සිදු කරන ලදී. එමෙන්ම, වර්තමානයේ ක්‍රියාත්මක අමෙරිකා – ඉරාන ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳව ද අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා, එම ගිවිසුමේ සාර්ථකත්වය වෙනුවෙන් තම සුබ පැතුම් එක් කළේය. එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා ද දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව සිය ඉහළම ප්‍රශංසාව පළ කිරීමට පියවර ගත්තේය.
ඉදිරියේදී එළැඹෙන 250 වැනි අමෙරිකානු නිදහස් සැමරුම නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට ද අමාත්‍යවරයා කටයුතු කළ අතර, මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව මගින් දෙරට අතර පවතින ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කලාපීය වශයෙන් වැදගත් වන විදේශ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය තහවුරු කරමින්, ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර සබඳතා පුළුල් කරගැනීමේ ක්‍රියාවලිය මෙම හමුව හරහා වඩාත් පැහැදිලි විය. ඉදිරි කාලසීමාව තුළ මෙම සබඳතා ඔස්සේ මෙරටට ලැබෙන ආයෝජන සහ සහාය මගින් ජාතික සංවර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
















