ගෝලීය ඩිජිටල් ප්‍රවණතා සහ දේශීය නියාමන රාමුව එකිනෙකට ගැළපීමේ අරමුණින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) ඒකාබද්ධව සංවිධානය කළ “අතථ්‍ය වත්කම් පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ සැසිය” ඊයේ (15) සාර්ථකව පවත්වා තිබේ. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැසියේදී ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විශේෂඥයින් වන නිසල් චන්ද්‍රසේකර සහ දිනින්දු තේවරතන්ත්‍රි යන මහත්වරුන් විසින් අතථ්‍ය වත්කම් සම්බන්ධයෙන් විස්තීර්ණ දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
මෙම සාකච්ඡාව ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ ක්‍රියාත්මක විය. එහිදී ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන Peer-to-Peer (P2P) නාලිකා සහ විදේශීය වේදිකා ආශ්‍රිත අවදානම්, සිංගප්පූරුව සහ හොංකොං වැනි කලාපීය මධ්‍යස්ථානයන්හි පවතින සාර්ථක නියාමන ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවට අනුගත කරගත හැකි ආකාරය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (AML) සහ KYC පාලන ක්‍රමවේදයන්ගේ වැදගත්කම පිළිබඳව පුළුල් ලෙස කරුණු පැහැදිලි කෙරිණි.
ඊට අමතරව, අතථ්‍ය වත්කම්වල නවීන භාවිතයන් වන ආයෝජන නිෂ්පාදන, ජාත්‍යන්තර ගෙවීම් සහ ප්‍රේෂණ කාර්යක්ෂම කිරීම මෙන්ම භෞතික වත්කම් ඩිජිටල් ස්වරූපයට පරිවර්තනය කිරීම (Tokenization) හරහා නව ව්‍යවසායකයින්ට ප්‍රාග්ධනය රැස් කරගැනීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ආයෝජක ආරක්ෂණය සහ විධිමත් නියාමන මාර්ග සිතියමක් සකස් කිරීම අරමුණු කරගත් අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවකින් සැසිය නිමාවට පත් විය.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර, මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) අධ්‍යක්ෂිකා ආචාර්ය සුභාණි කීර්තිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
















