මෝල්ඩෝවා රාජ්‍යයේ බැංකු පද්ධතියෙන් අතිවිශාල මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන ව්ලැඩිමීර් ප්ලැහොට්නියුක්ට (Vladimir Plahotniuc) වසර 19ක සිරදඬුවමක් නියම වී තිබුණද, එම පරීක්ෂණ එතැනින් නතර නොකළ යුතු බව එරට පාර්ලිමේන්තු කථානායකවරයා අවධාරණය කරයි. මීට දශකයකට පමණ පෙර සිදුවූ මෙම වංචාව එවකට මෝල්ඩෝවා රාජ්‍යයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%කට සමාන වූ බැවින් මෙය “සියවසේ මංකොල්ලය” ලෙස හඳුන්වනු ලබයි.
මෝල්ඩෝවා පාර්ලිමේන්තු කථානායක ඊගෝර් ග්‍රොසු පවසන්නේ මෙතරම් දැවැන්ත සහ සංකීර්ණ මූල්‍ය වංචාවක් ප්ලැහොට්නියුක්ට තනිවම සිදු කළ නොහැකි බවත්, මීට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් ද නීතිය හමුවට පැමිණවිය යුතු බවත්ය. හිටපු දේශපාලනඥයෙකු ද වන ප්ලැහොට්නියුක් තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම නඩු තීන්දුව දේශපාලන බලපෑම් මත සිදුවූවක් බව ඔහුගේ නීතිඥයන් පවසයි. කෙසේ වෙතත්, දූෂණ විරෝධී අංශ ඔහුට එරෙහිව තවත් මූල්‍ය වංචා සහ අල්ලස් නඩු කිහිපයක්ම ක්‍රියාත්මක කරමින් සිටියි.














