විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය මඟින් මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කරන ලද “Voice to Policy” සංවාද වැඩසටහන පසුගියදා (29) මඩකලපුව ඊස්ට් ලැගූන් හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබූ අතර, එහිදී තරුණ තරුණියන්ට තම අදහස්, ගැටලු සහ ප්‍රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදා විය. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාවේ දෙවැන්න ලෙස ක්‍රියාත්මක වූ මෙම හමුව තුළින්, තරුණ ප්‍රජාව මුහුණ දෙන මූලික අභියෝග හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රතිපත්තිමය විසඳුම් සෙවීම සඳහා ප්‍රබල මාවතක් විවර කර තිබේ.
මෙහිදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අංශවල පවතින ගැටලු, වෘත්තීය පුහුණු හා රැකියා අවස්ථා පුළුල් කිරීම, තරුණ ව්‍යවසායකත්වය නංවාලීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම මෙන්ම දේශපාලන ක්‍රියාවලිය සඳහා තරුණ සහභාගීත්වය වර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් තරුණ නියෝජිතයෝ දැඩි අවධානයක් යොමු කළහ. තරුණ ප්‍රජාව විසින්ම තම ප්‍රමුඛතා හඳුනාගෙන ඒවා පොදු කරුණු ලෙස වර්ගීකරණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සෘජු සංවාදයක නිරත වීම මෙම වැඩසටහනේ සුවිශේෂී ලක්ෂණයක් වූ අතර, විවෘත පාර්ලිමේන්තු සංකල්පය ප්‍රායෝචිතව තහවුරු කිරීමට එය කදිම නිදසුනක් විය.
මෙම වැඩසටහනේදී ඉදිරිපත් වූ වටිනා යෝජනා ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සඳහා සලකා බැලීමට යොමු කිරීමටත්, අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධ වීමට අවස්ථා සලසා දීමටත් මේ වන විට සාකච්ඡා කර ඇත. ජාතික ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුළට තරුණ හඬ සක්‍රීයව දායක කරගැනීම හරහා රටේ අනාගත පාලන තන්ත්‍රය සහ සංවර්ධන අභිමතාර්ථයන් වඩාත් අර්ථවත් හා ජනතා කේන්ද්‍රීය දිශානතියකට යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














